ඉන්ද්‍රජාලිකයිනි
කිව හැකි යමක් තිබෙනවා ද
මේ කරුණු මේ හැටිම
සිදු වෙන්න හේතුව ?
මල් වැරූ පසු ගසෙක
මල් පිබිදෙන්න හේතුව ?
වරන්නට නම් පිපෙන්නේ ඇයි ඒ හැටිම ?
පිපෙන තරමට වරන්නේ ඇයි එක පෙළට ?
මලෙක රුචියක් ද ?
ගසෙක සිතිවිල්ලක් ද?
තිත්තයකු විසින්
බිඳ හරිනු ලද පසුව රූපය
එතැන්හිම ඇඳ හැලෙන්නේ සඳේ ඡායාව ?
සමච්චලයකට ද?
සංසාර පුරුද්දකට ද ?

- සාජා -




























































ඉතින් ප්‍රිය ය,


ඔහේටත් වහිනව ද?
පහත් බිම් යට වෙනව ද?
නාය යාමේ අවදානමක් තියෙනව ද?

අප යෞවනයන්ව සිටි කාලය මෙන්
තවම ඔබ නිතර සිනහ වෙනවා ද?
ඔට්ටු අල්ලා තරඟයට දුවනව ද?
විටින් විට හැඩ බලනව ද?
කැරළි කොණ්ඩය තවමත් එහෙමම ද?

ඉඳහිටකවත් නුගේගොඩ එනව ද?
චීස් බර්ගර් කනව ද?
සිහින තවමත් තියෙනව ද?
නිකමටවත් ලියනව ද?

ඔහේටත් වහිනව ද?
පහත් බිම් යට වෙනව ද?
අවුවටත් වැස්සටත් අතර
දේදුන්න පායනව ද?

ඒ දවස්වල වාගේම
හුස්මක් නෑර කියවනව ද?
නොකියන කොටස් තියෙනව ද?
ඇයගෙනුත් ආදරය ලැබෙනව ද?
පෙන්වන තරමටම
ඇත්තටම ඔබ සුවෙන් ද?

ඉතින් ප්රිය ය,
නිකමටවත් ලියා එවනව ද !
ඔබ ඉන්නේ උස් බිමක ද?
පහත් බිමක ද?
දේදුන්න පායන තැනක ද?


- සාජා -

(ඡායා රූ -අන්තර්ජාලය ඇසුරිනි)